පාසල් රංග මණ්ඩපයේ ප්‍රවේශ පත්‍රයට රුපියල් 3,000ක්? 'සුසර' පිටුපස ඇති කටුක යථාර්ථය සහ SDS එකේ කෙරුවාව!
අද නවරංගහල ගොඩනැගිල්ල තුළ හඬනගන්නට පෙළගැසී සිටින්නේ අපේම දරුවන්ගේ අහිංසක සංගීත ස්වරයි. ඒ 'සුසර' ප්‍රසංගය වෙනුවෙන්. නමුත් ඒ මිහිරි ස්වර පිටුපස දෙමාපියන්ගේ සුසුම් හඬ යටපත් වී ඇති බව ඔබ දන්නවාද?
මෙවර 'සුසර' ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රයක මිල සටහන් වී ඇත්තේ රුපියල් 3,000ක් ලෙසයි. පාසල් වේදිකාවක පැවැත්වෙන, තමන්ගේම දරුවන් ඉදිරිපත් වන ප්‍රසංගයක් නැරඹීමට දෙමාපිය යුවලකට රුපියල් 6,000ක මුදලක් වෙන් කිරීමට සිදුවීම සුළුපටු කාරණයක්ද?
මේ අධික මිල පිළිබඳව කලකිරුණු දෙමාපියෙකු කළ විමසීමකට සංවිධායක මණ්ඩලයෙන් ලැබී ඇත්තේ පුදුමාකාර පිළිතුරකි: "දැනට SDS එකත් (පාසල් සංවර්ධන සමිතිය) යන්නේ හරිම අමාරු කාලයක..."
නමුත් ඇත්තටම අමාරු SDS එකටද, නැතහොත් දූෂණය සහ මූල්‍ය වංචා වසාගැනීමට දෙමාපියන්ගේ පපුවට බර පටවන සංවිධායකයන්ටද? SDS එක යනු අද වන විට දූෂණයෙන් සහ අක්‍රමිකතාවලින් පිරී ඉතිරී ගිය තැනක් බව ප්‍රසිද්ධ රහසකි. සංවර්ධන සමිතියේ ඒ අසීමිත මූල්‍ය වංචා සහ ගිණුම්වල ඇති අක්‍රමිකතා වසාගැනීමට, තමන්ගේ දරුවාගේ දක්ෂතාව දකින්නට පෙරුම් පුරන අහිංසක දෙමාපියන් පළිග්රහණය කරන්නේ ඇයි?
තවත් අතකින්, අසීරුවෙන් රුපියල් 3,000ක් දී ලබාගන්නා ඒ අසුනෙන් ලැබෙන පහසුව කුමක්ද?
- විදුලි පංකා වැඩ කරන්නේ නැත: ශාලාවේ ඇති පංකා නිසි ලෙස ක්‍රියා නොකරන අතර ලැබෙන සුළු සුළං පාර පවා ලැබෙන්නේ කොටසකට පමණි.
- කැඩුණු අසුන්: අසුන්ගෙන සිටින ජනතාවට කොන්දේ කැක්කුම් සාදා දෙන මට්ටමට ආසන කැඩී බිඳී ගොස් ඇත.
සුඛෝපභෝගී, වායුසමනය කළ, සපපහසු අසුන් සහිත නවීන ශාලාවකට අය කරන ගාස්තුව මෙවැනි අබලන් ශාලාවකට අය කරන්නේ SDS එකේ මූල්‍ය හිඩැස් පියවා ගැනීමටද?
ආර්ථික අර්බුදයෙන් බැටකන සාමාන්‍ය දෙමාපියන්ට රුපියල් 6,000ක් යනු ලොකු මුදලකි. මේ හේතුව නිසාම, දරුවන්ගේ මෙම විශේෂ මොහොත නැරඹීමට අම්මා සහ තාත්තා යන දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් සහභාගී වීමට සිදුවූ අවාසනාවන්ත පුවත්ද අප වෙත වාර්තා වේ.
කලාව සහ දරුවන්ගේ දක්ෂතා වෙළඳ භාණ්ඩයක් කරගත්, SDS එකේ දූෂණ වසාගන්නට දෙමාපියන් හූරාගෙන කන මෙවැනි සංවිධායකත්වයන් හමුවේ පාසල් පද්ධතිය ගමන් කරන්නේ කොතැනටද? දූෂිත පාලනයක් වෙනුවෙන් දෙමාපියන්ගේ ආදරය මත මිල ටැග් ඇලවීම වහා නතර විය යුතු නැද්ද?

Comments
Post a Comment